:

නව යොවුන් වියට මුහුණ දෙමු

අවුරුදු 10 - 19 අතර වයස් කාලය නව යොවුන් විය ලෙස හැදින්වෙනවා. මේ කාලයේදී ද්වීතීයික ලිංගික ලක්ෂණ පහල වීමට පටන් ගන්නවා. ඒ කියන්නේ මේ කාලයේදී අපේ ශරීරයේ, සිතුවිලි වල වගේම අපි අනෙක් අය සමග සම්බන්ධතා පවත්වන විදියත් වෙනස් වෙනවා.

වැඩිවියට පත් වන කාලය වන විට ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත වෙනස් නම් රැසක් සිදු වනවා. මේ වෙනස් කම් ඇති වෙන්නේ සිරුරේ නිපදවෙන හෝමෝන මගින්. හෝමෝන කියන රසායන ද්‍රව්‍යය නිපදවන්නේ සිරුරේ තිබෙන, ‘ග්‍රන්ථි’ නැමැති අවයව මගින්. ඒ අතුරින් ප්‍රධානතම වන්නේ පිටියුටරි ග්‍රන්ථියයි. මිනිස් මොළයේ පහළ කොටසේ පිහිටි මේ කුඩා ග්‍රන්ථිය තමයි අනෙක් ග්‍රන්ථීන්ට හෝමෝන
උත්පාදනය කිරීමට පොළඹවන්නේ.

පිරිමි දරුවන්ගේ වෘෂණ ග්‍රන්ථි මගින් ‘ටෙස්ටොස්ටරන්’ කියන පුරුෂ ලිංගික හෝමෝනය නිපදනවා. ගැහැණු දරුවන්ගේ ඩිම්බකෝෂ මගින් ස්ත්‍රී ලිංගික හෝමෝන නිපදවනවා. ඒවා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රෝන් නම් වෙනවා. ගැහැණු, පිරිමි දෙපාර්ශවයේම වර්ධනය සඳහා අවශ්‍ය හෝමෝනයත් නිපදවන්නේ පිටියුටරි ග්‍රන්ථිය විසිනුයි.

දෙදෙනාම සිනාසෙයි; අපි දෙන්නා චූටි කාල්‍ ඉඳලාම හොඳ යාලුවෝ

කුඩා පිරිමි ළමයා : පුංචි කාලෙ පිටතින් බැලුවම අපි දෙන්නම එක වගේ. ඇඳුම් වලින් විතරයි අපි දෙන්නාගෙන් කවුද ගෑනු ළමයා කවුද පිරිමි ළමයා කියලා හොයාගන්න පුලුවන් උනේ. හබැයි ටික ටික ලොකු වෙනකොට අපි දෙන්නාගේම ඇඟවල් ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා.

කුඩා ගැහනු ළමයා : විද්‍යාව ටීචර් නම් කිවුවේ එහෙම වෙන්නේ අපි ලොකු වෙනකොට ඇඟ අතුලේ හෝමෝන වල වෙන වෙනස්කම් නිසා කියලා .ඒකට බයවෙන්න ඕනෙම නෑ කියලත් කිවුවා. නව යොවුන් වයසට එනකොට එහෙම තමයි ලු

පිරිමි ළමයා : මම වේගෙන් උස ගියා, මගේ බරත් වැඩි උනා,උරහිස් පලල් උනා ,අත් කකුල් මහත් උනා

ගැහනු ළමයා : ඇයි මම. මමත් වේගෙන් උස ගියා, බර වැඩි උන, උකුල හරිය පලල් වුනා, කකුල් වල කලවා මහත් වෙනවා කියලා මට දැනුනා.කිහිල්ලේ , යෝනි ප්‍රදේශයේ , රෝම වැවෙන්න පටන් ගත්තා.

පිරිමි ළමයා : මූනෙ රැවුල වැවෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි පපුවෙ, කිහිල්ල්ලේ , වගේම ලිංගාශ්‍රිතව රෝම වැවෙන්න පටන් ගත්තා .බෙල්ල ටිකක් මහත් වුනා, කටහඬ ගොරෝසුවුනාඅපි දෙන්නගෙම මූනෙ කුරුලෑ එන්නත් පටන් ගත්තා

ගැහනු ළමයා : මගේ හම පැහැපත් වෙනවා කියලා පෙනුනා. ඔය අතරෙම මගේ පියයුරු ටික ටික ලොකු වෙන බව දැනුනා.

පිරිමි ළමයා : ඒ අතරෙම මගේ ලිංගේන්ද්‍රිය වගේම වෘශනකෝශත් ටික ටික ප්‍රමානයෙන් විශාල වුනා. ඒ වගේම සුක්‍රානුපිටවෙන්නත් පටන් ගත්තා.

ගැහනු ළමයා : මෙහෙම වෙනස් වෙලා එක දවසක් මගේ යෝනියෙන් ලේ ටිකක් පිටවෙලා තුබුනා. අම්ම කිවුවේ මගේ ඔසප් චක්‍රය පටන් අරන් කියලා. ඒ විතරක් නෙවෙයි යෝනියෙන් වතුර වගේ ශ්‍රාවයක් නිකුත් වෙන්නත් ඒ ශ්‍රාවයෙන් යෝනි ප්‍රදේශය තෙහ් වෙන්නත් පටන් ගත්තා.

ගැහනු ළමයා : ඉතින් ඔයාලත් නව යොවුන් වයසට ඒන්න ලඟයි නම් ඔයාලගේ ඇඟෙත් මේ වෙනස්කම් වෙන්න පටන් අරගෙන ඇති.

පිරිමි ළමයා : ඔයාලගේ ඇඟෙත් මේ වගේ වෙනස්කම් වෙලා ඇති. නැත්නම් ඉක්මනින් ම වෙයි. ඉතින් ඒ ගැන බයවෙන්න ඕනෙ නෑ.

දෙදෙනාම : ඒ ඔයාලත් අපි දෙන්නා වගේම නව යොවුන් වියට එළඹෙන නිසා

ඇගට ගානට තිබුණ ටී ෂර්ට් එක හිර වෙලාද? දන්නෙම නැතුව ඉස්කෝලේ යුනිෆෝම් එක කොට වෙලාද?

ළමා කාලෙය් ඉදලා නව යොවුන් වයසට එන කොට අපේ ශරීරයේ වෙනස්කම් රාශියක් ඇති වනවා.

මේ වසයේදී ඇති වන ප්‍රධාන වෙනස වන්නේ ගැහැණු දරුවන්ගේ ඩිම්භ මේරීම ආරම්භ වීමත් පිරිමි දරුවන්ගේ වෘෂණ වලින් ශුක්‍රානු නිපදවීමත්ය.

මේ වෙනස්වීම්වලට හේතු වන්නේ ශරීරයේ නිපදවෙන හෝමෝන වර්ගයන්. ගැහැනු දරුවන්ගේ ශරීරයේ නිපදවෙන හෝමෝන වන්නේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් වන අතර පිරිමි දරුවන්ගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් නම් වූ හෝමෝනය නිෂ්පාදනය වනවා. මේ හෝමෝන මගින් ඇතිකරන සමහර වෙනස්වීම්, පිරිමි දරුවන්ට පමණක් විශේෂයි. තවත් සමහර වෙනස්වීම් ගැහැණු දරුවන්ට පමණක් අදාලයි.

ගැහැණු දරුවන්ගේ කායික වෙනස් වීම්

- උස හා බර වැඩි වීම
- පියයුරු වැඩීම
- සම පැහැපත් වීම
- උකුළ පළල් වීම
- කලවා මහත් වීම
- කිහිලි හා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව රෝම ඇති වීම
- මුහුණේ කුරුළෑ ඇති වීම
- යෝනි ස්‍රාවය ඇති වීම
- ආර්තවය හෙවත් ඔසප් චක්රය ආරම්භ වීම

පිරිමි දරුවන්ගේ කායික වෙනස්වීම්

- උස හා බර වැඩි වීම
- ශිශ්නය, වෘෂණ කෝෂ හා පුරස්ථ ග්‍රන්ථි විශාල වීම
- උරහිස් පළල් වීම
- කලවා, මාංශීපේෂී මහත් වීම
- පපුව, කිහිලි හා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව රෝම ඇති වීම
- මුහුණේ කුරුළෑ ඇති වීම
- ස්වරාලය පෙදෙස විශාල වීම
- කටහඬ ගොරෝසු වීම
- උඩු රුවුල ඇති වීම
- ශුක්‍ර මෝචනය සිදු වීම
- උපුටා ගැනීම - 7 ශ්‍රේණිය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පිටුව 156

කායිකව පමණක් නොවෙයි මානසිකවද මේ කාලය කළ වෙනස්වීම් ඇති වනවා.

- හිතේ ස්වභාවය නිතර වෙනස්වීම
- අධික සංවේදී බව
- තර්කානුකූලව සිතීමට පෙලඹීම
- විද්‍යාත්මකව සිතීමට පෙලඹීම
- අලුත් දේ අත්හදා බැලීමට පෙලඹීම
- නව නිර්මාණ බිහි කිරීමට පෙලඹීම
- තම සිරුරේ හැඩ, රුව, ඇඳුම් පැළඳුම්, හිස පීරීමේ විලාසිතා ගැන උනන්දු වීම
- එඩිතර බව පෙන්වීම
ආදිය ඒ අතරින් කිහිපයක්.

මේ කායික සහ මානසික වර්ධනයන් සමග මේ කාලය කුළදී අපි සමාජයේ හැසිරෙන ආකාරයද වෙනස් වනවා.

- ආදර හැගීම් පහළ වීම
- සම වයස් ඇසුර ප්‍රිය කිරීම
- කල්ලි ගැසීම
- අයුක්තිය/ ආසාධාරණයට එරෙහි වීම
- පොදු කටයුතු කිරීමට ආශා කිරීම
- වැඩිහිටි සමාජයට පිවිසීමට ආශා කිරීම
- අන්‍යයන් අතර කැපී පෙනීමට ආශා කිරීම
- නායකත්වයට කැමති වීම
ඒ අතරින් කිහිපයක්.

මේ වෙනස් කම් ඔබත් අත් දකිනවාද?

මේ වෙනස්කම් මුලින්ම ඇතිවීම ආරම්භවන වයසත්, ඒ සඳහා ගතවන කාලයත්, පුද්ගලයාගෙන්, පුද්ගලයාට වෙනස්වෙන්න පුළුවන්. ඒ නිසාම ඔබේ වයසේ අනෙක් අය හා ඔබව, සැසඳීමට ඉක්මන් නොවීම වැදගත්. වැඩෙන්නේ, පරිණත වෙන්නේ ඔබටම ආවේණික ආකාරයකට, වේගයකට.

අළුත් හැගීම්, අළුත් ආශාවන්, අළුත් යහළු යෙහෙලියන්ගෙන් වගේම අළුත් අභියෝග වලින් පිරිණු කාලයක්.

වැඩිවිය පැමිණීමේදී ඇති වන මනෝ සමාජීය වෙනස්කම් කිහිපයක් පහතින් දැක්වෙනවා.

1. සංවේදී වීම

මේ කාලයේදී ශරීරයේ වෙනස්කම් ගණනාවක් ඇති වන නිසා කිසියම් අපහසුතාවයක් සහ බාහිර පෙනුම පිළිබද සංවේදීතාවයක් ඇති වීමට ඉඩ තිබෙනවා. මේ නිසා ඔබට නිතර කේන්ති යාමට පුළුවන්.

2. අනන්‍යතාවයක් සෙවීම

ඔබ කවුද යන්න පිළිබද මේ කාලයේදී වැඩිපුර සිතනවා. පවුලේ අයට වඩා සිය මිතු මිතුරියන් සමග වැඩි කාලයක් ගත කිරීමට පෙළඹෙනවා.මෙය ඔබ දෙමාපියන්ගෙන් සහ පවුලෙන් ස්වාධීන පුද්ගලයෙකු බවට පත් වීමේ ආරම්භයයි. එය ස්වභාවිකයි.

3. අනාගතය පිළිබද නව බලාපොරොත්තු

මේ කාලයෙදී ඔබ අනාගතයේදී කරන රැකියාව, විවාහය, දරුවන් ලැබීම ආදිය පිළිබද සිතීමට පෙළඹෙනවා.
ඔබ ගැන ඔබේ පවුලේ සමාජිකයන් හා සමීපතයන් තුළ ඇති බලාපොරොත්තු ද මේ කාලයේදී වෙනස් විය හැකියි. වෙනදාට වඩා විශාල වගකීම් ප්‍රමාණයක් ඔබට පැවරෙන්නට පුළුවන්.

4. සම වයස් කණ්ඩයම් බලපෑම/ Peer pressure

ඔබ මෙන්ම ඔබේ මිතුරන් ද වටපිටාවේ දකින දේවල් විශේෂයෙන්ම ජනමාධ්‍ය ජනප්‍රිය කරන දේවල් වලට ඇදී යන්නට ඉඩ තිබෙනවා. ඔබ අදින පළදින විදිය, ඔබ කතා කරන විලාසය වගේම ඔබේ හැසිරීමද ඔබ ජනප්‍රිය යැයි සිතන දෙය අනුව වෙනස් වන්නට පුළුවන්.

ඔබ කැමති දේවල් සහ අකමැති දෙවල් නිතර වෙනස් වන්නට පුළුවන්. මෙය ඔබේ සහෘද කණ්ඩායම් සමග ගැලපීම සදහා සිදු කරන දෙයක් වන්නටත් පුළුවන්.
සම වයස් කණ්ඩායම් බලපෑම ඔබේ යහපතට මෙන්ම අයහපතටත් සිදු වෙන්න පුළුවන්. ඔබ අකමැති දෙයක් කිරීමට බල කරනවානම් කණ්ඩායමේ තවදුරටත් ඉන්නවාදැයි සිතා බලන්න.

5. සිතේ ස්වභාවය නිතර වෙනස් වීම

එක් මොහොතක ඔබ ඉතා ප්‍රීතිමත් හැගීමකින් කටයුතු කර ඊලග මොහොතේ ඉතා කණගාටුවට හෝ දුකට පත් වන්නට පුළුවන්.

6. ලිංගික හැගීම් ඇති වීම

වැඩිවිය පැමිණීමේ කාලය තුළ ඔබේ ශරීරය ලිංගික වශයෙන් පරිණත වනවා. බොහෝ දෙනෙක් මේ කාලයේදී ස්වයං වින්දනය අත්හදා බලනවා. මේ කාලයේදී ලිංගික හැසිරීම් පිළිබද කුතුහලයක් ඇතිවීම මෙන්ම වෙනත් කෙනෙකු පිළිබද ආකාර්ශනයක් ඇති වීම සිදු විය හැකියි. වැඩිවිය පැමිණන කාලෙය්දී ගැහැණු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු වෙත ආකර්ශණයක් ඇති වීම ස්වභාවිකයි.

ප්‍රේමණීය නවකතාවක් කියවීම හෝ චිත්‍රපටයක් නැරඹීම මගින් වෙනදා නොදැනුණු හැගීමක් දැනෙන්නට පුළුවන්. මෙම හැගීම් ස්වභාවිකයි. ඒ ගැන වරදකාරී හැගීම් ඇති කර ගත යුතු නැහැ. ඔබට ලිංගිකත්වය සහ ලිංගික හැසිරීම් පිළිබද ප්‍රශ්ණ තිබෙනවානම් ඒ ගැන විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග කතා කරන්න. පාසලේ උපදේශන ගුරුවරිය මෙවැනි මැදිහත් වීම් සදහා පුහුණුව ලබා ඇත. ඔවුන්ගේ සහය ලබා ගන්න. එසේත් නොමැතිනම්, යොවුන් පියස වෙත පියස වෙත එන්න.

ලිංගික අවයව ඍජු වීම ගැන දැන ගනිමු

මොලයේ සිදු වන උත්තේජනයක් නිසා ලිංගික අවයව ඍජු වීමක් සිදු වනවා. ගැහැණු ළමුන්ට වඩා පිරිමි ළමුන්ගේ ලිංගික අවයව ඍජු වීම පිටතින් හදුනාගැනීමට පුළුවන්.

එය සිදු වන්නේ ලිංගික උත්තේජනයකදී ලිංගික අවයව වලට එනම්, ශිෂ්ණයට/ යෝනි මාර්ගයේ බිත්ති සහ යෝනි තොල් වලට තිබෙන රුධිර සැපයුම ඉහල යන නිසායි. මෙසේ රුධිර සැපයුම ඉහල යන නිසා ගැහැණු ළමුන්ගේ යෝනි තොල් සහ තන පුඩු තද ස්වභාවයක් පෙන්වන අතර ස්පර්ශයට ඉතා සංවේදී වනවා. පිරිමි ළමුන්ගේ ශිෂ්ණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගින් වැඩි වී ඉදිරියට ඍජු වීමක් පෙන්වනවා.
ගැහැණු ළමයෙකුගේ ලිංගික වශයෙන් උත්තේජනය වූ විට යෝනි මාර්ගයේ බිත්ති දිගේ ශ්‍රාවයක් වෑහෙනවා. එය යෝනි ශ්‍රාවයයි. ලිංගික සංසර්ගයකදී ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරන අතරම යෝනි මාර්ගයේ සීරීම් ඇති වීම අඩු කරනවා.

ඔසප් වීම ආරම්භ වීම

මේ කාලයේදී ගැහැණු ළමුන් අත්දකින එක් වෙනස් කමක් වන්නේ ඔසප් වීම ආරම්භ වීමයි. සමාජයේ මල්වර වීම, වැඩිවිය පැමිණීම වශයෙන් හදුන්වන්නේ මෙම පළමු ඔසප් වීමයි.

වැඩිවිය පැමිණෙන කාලය අතරතුරදී ගැහැණු ළමයෙකුගේ ප්‍රජනන පද්ධතිය වර්ධනය වනවා.

ස්ත්‍රී ප්‍රජනන බීජ හැදින්වෙන්නේ ඩිම්භ යන නමින්. ගැහැණු දරුවෙක් උපදින විට ඇගේ ඩිම්බ කෝෂ වල නොමේරූ ඩිමිබ දහස් ගණනක් පවතිනවා. ගැහැණු දරුවන් වැඩිවියට පත් වන කාලයේදී මේ ඩිම්බ මේරීම ආරම්භ වනවා. මෙම මෝරන ඩිම්බ වරකට එක බැගින් ඩිම්භ කෝෂයෙන් පැලෝපීය නාලය වෙත මුදාහැරීමද මේ කාලයේදී ආරම්භ වනවා.

ඔසප් චක්‍රයේ පළමුවන සතිය තුළ ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිපුර ශ්‍රාවය වීම නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තියේ (එන්ඩෝමෙට්‍රියම) මතුපිට ස්ථරය වැඩෙනවා. ඉන්පසුව මේරූ ඩිම්භයක් ඩිම්භ කෝෂයේ මතුපිටට පැමිණෙන අතර, පැලෝපීය නාලයේ අග ඇති තන්තු මගින් එම ඩිම්භය පැලෝපීය නාලය ඇතුළට ගමන් කිරීමට සලස්වනවා. මේ කාලය තුළ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය මගින් ගර්භාෂයේ බිත්තිවල රුධිරවාහිනී තව දුරටත් වර්ධනය කරනවා. මෙසේ ගර්භාෂ බිත්තිය රුධිරවාහිනී වලින් පෝෂණය වෙමින් වැඩෙන්නේ ඩිම්භ කෝෂයෙන් පිටවූ ඩිම්භය සංසේචනය වී ගැබ් ගැනීමක් ඇති වුවහොත් වැඩෙන කළලයට පෝෂණය සැපයීමට සුසුදු පරිසරයක් ඇති කිරීමටයි.

ඩිම්භය සංසේචනය නොවූ විට, ඔසප් චක්‍රයේ මීලග අදියර වන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන ශ්‍රාවය වීම පහළ යාමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගර්භාශයේ ඇතුළු බිත්තිය ගර්භාෂයෙන් ගැලවීමට පටන් ගන්නා අතර රුධිරයත් සමග එම ශ්ලේෂ්මල පටල යෝනි මාර්ගය දිගේ ශරීරයෙන් පිටතට පැමිණෙනවා. ඔසප් වීම ලෙස හැදින්වෙන්නේ මෙයයි. මෙම ක්‍රියාවලිය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන නිසා එය ඔසප් චක්‍රය ලෙස හැදින්වෙනවා.

Visual presentation

අපේ අක්කාට මොකද්ද ලෙඩක් හැදිලා, එයා දැං ඉන්නේ කාමාරේක. අම්මා කියනවා එයා ළගට යන්න එපා කියලා. එහෙම වුණොත් අක්කට බබාලා ලැබෙන්නැතුව යනවලු.
- ගැහැණු ළමයෙකුගේ ස්වභාවික වර්ධයේම කොටසක් තමයි ඔසප් වීම කියන්නේ. ගැහැණු ළමයෙකුගේ ඔසප් වීම සංස්කෘතිකමය වශයෙන් ඉතා ඉහලින් සලකනවා. ඒ නිසා ඒ වටා ගෙතුණු කතාන්තර බොහොමයක් තියෙනවා. “පළමු වරට ඔසප් වීම සෑදුණු ගැහැණු දරුවෙක්ව පිරිමි අය දැකීමට හොද නැහැ” යන්න මිත්‍යා මතයක්.

අපිට ක්‍රීඩා සංගමෙන් දුන්න බත් පැකට් එකේ මාළු කෑල්ලක්. මට මස් මාළු කන්න හොද නෑ මේ දවස් වල.
- ඔසප් කාලය තුළ මස්, මාංශ (පිළී ආහාර) නොගත යුතු බව මිථ්‍යා මතයක්. මෙය වර්ධන අවධියක් බැවින් ප්‍රෝටීන් අවශ්‍යතාව වැඩිය. මස්, මාංශ, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර මේ කාලයට ගැනීම හුගාක් වැදගත් වනවා.

අපේ ගමේ තරුණ සමාජයෙන් ආගමික පෙරහැරක් කරනවා. මට සනීප නැති නිසා පෙරහැරේ යන්නත් බෑ.
- ඔසප් වෙන දින වලට ආගමික කටයුතු වලින් ඉවත් වී සිටින ලෙස ඔබටත් උපදෙස් ලැබී ඇති. ඔසප් රුධිරයට අපිරිසිදුයි කියන මිත්‍යා මතය පදනම් කර ගෙන තමයි එහෙම කියන්නේ. තමන් කැමති ආගමක් ඇදහීමට වගේම ආගමික කටයුතු වලට සම්බන්ධ වීමටත් සෑම කෙනෙකුටම අයිතියක් තිබෙනවා.

අම්මා කියනවා “සනීප නැති වුණාම” නාන්න එපාලු.
- සාමාන්‍ය ව්‍යවහාරයේ ඔසප් වීමට ‘සනීප නෑ’ යන වචනය භාවිත කරනවා. ඔසප් වීම අසනීපයක් නොවේ. ඒ නිසා නෑමෙන් වැළකී සිටිය යුතු නැහැ. ඔසප් දිනවල දී නෑම නිසා රුධිරය “ඉහට ගැසීම” මගින් රෝගාබාධ ඇති වන බව තවත් මිථ්‍යා මතයක්. රුධිරය වහනය වීමක් සිදු වන නිසා මේ කාලය තුළ පිරිසිදුව සිටීම අනිවාර්ය වනවා.

කිලි නිසා මට ලොකු අම්මලාගේ ගෙදර දානේ ගෙදරට එන්න එපාලු.
ඔසප් දින අපිරිසිදු (කිලි) කාලයක් ලෙස සමහරු සලකනවා.
- ඔසප් වීමේදී පිටවන්නේ තම ශරීරයේ ම රුධිරයයි. තුවාලයක් වූ විට ගලන රුධිරය හා මේ අතර ඇති වෙනස්කම වන්නේ ශ්ලේෂ්මල හා ගර්භාෂ පටක ස්වල්පයක් ද මේ සමග පිට වීම පමණයි.

Infographic

Infographic 1 - නින්දේදී සුදු පාට ශ්‍රාවයක් මගේ සරමේ ගෑ විලා. එහෙම වෙද්දි ඇග දුර්වල වෙනවද?
- බොහෝ විට නින්දේදී පිට වන්නේ ශුක්‍ර තරලයයි. ශුක්‍ර තරලය නින්දේදී පිට වීම “ස්වප්න මෝචනය” ලෙස හඳුන්වන අතර මෙය ස්වාභාවික ක්‍රියාවලියක්. මෙසේ ශුක්‍ර තරලය පිට වීම ශරීරය දුර්වල වීමට හේතු වන බව මිථ්‍යා මතයකි.

මගේ ශිෂ්ණය අතගානකොට අමුතු හැගීමක් දැනෙනවා. අයියා කිව්වා ඒ විදියට ශිෂ්ණය ඇල්ලුවොත් ලොකු වෙලා ළමයි හදන්න බැරි වෙනවා කියලා.
- ලිංගික අයවය අවයව ස්පර්ශ කරමින් සතුටක් ලැබීම හදුන්වන්නේ ස්වයං වින්දනය යනුවෙන්.
- “ස්වයංවින්දනය කියන්නේ ලිංගික අවයව පිරිමදිමින් සතුටක් ලැබීමයි.
- පිරිමි ළමුන් ස්වයං වින්දනය සිදු කරන විටත් ශුක්‍රාණු පිටවෙන්න පුළුවන්.
- මෙහෙම කළා කියලා ඇඟට කිසිම හානියක් වන්නේ නෑ.
- පිරිමි ළමුන් වගේම ගැහැණු ළමයිනුත් ස්වංවින්දනය සිදු කරනවා.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්